Tuesday, September 11, 2018

සාරධර්ම කොයිබටද .....

අඳුර තුලින් ආලෝකය සොයා ගිය අභිමානවත් සංස්කෘතියක් හා සදාචාරයක් උරුම වූ ධර්මීතලය නමින් විරුදාවලී ලැබූ  ශ්‍රී ලක් මවුන් ධර්මදීපයක් බවට පත් වූයේ අප තුල තිබූ උදාර ශිෂ්ටත්වය නිසාමය.එවැනි සමාජ වටපිටාවක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප අද වල්මත් වූවන් සේ ,අඳ ගොලු බිහිරන් සේ සිටිනුයේ මන්ද? ලැජ්ජාව බිය යන දෙකෙන් මුලු ලෝකයටත් ඉදිරියෙන් සිටි අප අද සිටිනුයේ කොතැනද? අප විසින් රැක ගත යුතු යැයි කියන ලැජ්ජා බිය දෙක බිඳ දමා ගෙන අශිෂ්ට මිනිස් සමාජයක ආරම්භය සිදුවූයේ  කෙදිනක ද? වීරෝධාර පුතුන්ගේ ජන්ම භූමියක් ව තිබූ අප රට දැන් ක්‍රමයෙන් මිනිස් දහමින් වෙන්වී නොමිනිස් ගුණ ඇති රටක් ජාතියක් ලෙස විනාශයට යන්නෙමු.
       
                     ගෙදර බුදුන් කියා උදේ හවස වැඳ ගරු කල මව,පියාව අමු අමුවේ මරා දැමූ පුවත් වර්තමානයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.තමන්ගේ ලෙයින් ,කුසින් උපන් කිරිකැටියා උපන්ගෙයිම මරා දැමීමට තරම් සාහසික දෙමව්පියන් වත්මන් සමාජයේ බුරුතු පිටින් ඇත.පවුලේ හිතවතෙක් ලගක හෝ ගැහැනු දරුවෙකු පමණක් නොව පිරිමි දරුවෙකුවත් රඳවා යා නොහැකි ලෙස කාමාතුර රකුසන්ගෙන් සමාජය ගහණ වී ඇත.ඔවුන් විසින් තම දරුවා කිනම් මොහොතක බිලිගනිවීදැයි බියෙන් සැකෙන් දිවි ගෙවීමට දෙමව්පියන්ට සිදුව ඇත.
               අප කුඩා කාලයේ මවට පියාට දෙවැනිව සීයාට ආච්චීට ආදරය කලෙමු.මව නැති අතර අප රැක ගත්තේ මිත්තණියයි.කතන්දර කියාදෙමින් උකුලේ නිදිකල මිත්තණියව කාටත් හොර රහසේ සාහසිකව නොයෙන ගමන් යැවීමට තරම් වත්මන් පරපුර නින්දිත වී ඇති අයුරු සැබැවින්ම ඛේදනීයයි.
                රටක් සමාජයක් දූෂණය ,භීෂණය,ප්‍රචණ්ඩත්වයෙන් පිරී යන්නේ එහි සාරධර්ම පිරිහී ගිය විටයි.අප රටටද වත්මන්හි මේ තත්ත්වය උදාවී ඇති බව පෙනෙන්නට ඇත.සියල්ල මුදලට වටිනාකම් වන සමාජයක සාරධර්ම වලට හිමිතැන සැබැවින්ම ගැටලුවකි.මිනිසුන් මිනිස් ගුණයන්ගෙන් දුරුවී කුමන හෝ දෙයක් සිදු කොට මුදල් සෙවීමට යොමු වී ඇත.ජනගහනයෙන් වැඩිම පිරිසක් බෞද්ධයන් වන රටේ ඔවුන් තුල පවට තිබූ බිය නැත්තටම නැතිවී ගොස් ඇත.දෙමාපිය වැඩිහිටියන් ට සැලකිය යුත්තේ කෙසේද ,සමාජයට විය යුතු යුතුකම් මොනවාද අඩු තරමේ තමා ජීවත් විය යුත්තේ කෙසේද කියාවත් නිසියාකාර අවබෝධයක් නොමැතිව ක්‍රියා කරන පිරිස් සමාජයේ බහුල වී ඇත.ඔවුන් යහපත හා අයහපත අතර අතරමංව ඇත.
                     අප මුතුන් මිත්තන් සාරධර්ම පැතිකඩින් සැබැවින්ම බොහෝ උසස් තැනක සිටියහ.ඒ අනුව අප අද සිටිනුයේ ආගාධයක බව අකැමැත්තෙන් වුවද සඳහන් කල යුතුය.නවීන තාක්ෂණය ,ගෝලීයකරණය ,නාගරීකරණය ආදිය සාරධර්ම පිරිහීමේ ලා ප්‍රමුඛ වී ඇති බව සිතෙයි.ජන මාධ්‍ය තුලින් මෙහිලා සමාජයක ඇති කරන බලපෑම සුලුපටු නොවේ.ජනමාධ්‍ය තුලින්ද සාරධර්ම පෝෂණයට කටයුතු කිරීම වත්මන් සමාජයට දැඩිව අවශ්‍යය වී ඇත.ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීමෙන් මිදී කාලයේ වැලිතලාවෙන් අප සාරධර්ම වැසී යාමට පෙර ඒ සියල්ලම නැවත පණ පෙවීමට ජනමාධ්‍ය ක්‍රියාකරන්නේ නම් ඉතා අගනේය.
                      "කවුලුව හැර සුළං විඳිමු.නමුත් සුළඟට අප සතු දේ ගසාගෙන යාමට ඉඩ නොදෙමු"

                                  U. දිනුෂිකා සමන්මලී කුමාරි
-කැළණිය විශ්වවිද්‍යාලය.

Sanjanani 2019 trailer