Friday, August 10, 2018

.....ජීවිතය ජයගන්නට මත්තෙන් ....😊👊



අපට ලැබෙන මිනිත්තුවකට ඇත්තේ තත්පර හැටයි.එම තත්පර හැට පවා ප්‍රයෝජනවත්ව කාර්යක්ෂම අයුරින් ක්‍රියාවට නැංවුවහොත් ජීවිතයහි ඇති අභියෝග බොහෝ ජයගත හැකිය.එය අරුමයක් නොවේ අප ජීවිතයේ අපට සැබෑ කරගන්නට සිහින ඇත.එහෙත් ඇතැම් අයගෙන් ඇසෙන කතාවකි කුමක් කලත් කිසිදු සාර්ථකත්වයක් නැතැයි කියන කරුණ.අප සිහියට ගත යුතු වටිනා කරුණක් ඇත.එනම් අප සිහින ,අභියෝග ජයගන්නට නම් අප අහස් මාලිගා තනමින් කාලය ගත කලාට කිසිදු පලක් නැත.අප අපේ අරමුණු වෙනුවෙන් උත්සාහ වී ඇප කැප විය යුතුය .කිසිවෙක් නොකොට සාර්ථකත්වයක් නැතැයි කීම පදනම් විරහිත කතාවක් ය.'මහන්සියේ හැටියටයි හාන්සිය' යන ප්‍රසිද්ධ වැකියෙන් එය මොනවට කැපී පෙනේ.අපට සිහින ,අභියෝග ජයගන්නට අවැසි නම් ඒ සඳහා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන සෑම විටම මහන්සි වී එම අරමුණ හෝ අරමුණු වෙනුවෙන් ඒ පසුපස ගමන් කොට උත්සාහ කල යුතුය.මෙම සංකල්පය කාට වුවද පොදු වේ.කවරෙක් වුවද තම අභිවෘද්ධිය උදෙසා වෙහෙස වී මහන්සි වී කැපකිරීම් කරමින් කටයුතු කරන්නේනම් එම පුද්ගලයාගේ සිහින සැබෑ වීම නියතය.නැතිබැරිකම් ඇති පුද්ගලයකු වුවද ඒවා ගැනම සිතමින් කම්පාවට පත්වෙමින් කිසිදු උත්සාහයක් නොදරමින් ජීවිතය ඔහේ ගෙවමින් තමාට කිසිදු සාර්ථකත්වයක් නැතැයි පැවසුවහොත් එය හරයක් නොමැති සිතුවිල්ලකි."උත්සාහවන්තයා ජය ගනී."තමාගෙ අරමුණ කුමක් වුවත් ඒ සඳහා නොපසුබට උත්සාහය අවශ්‍යයමය.උත්සාහ කිරීම හරහා ජීවිතයේ බොහෝ දේ වෙනස් කල හැකිය.බැරි යැයි කියා කිසිවක් නොමැත.අවශ්‍යය වන්නේ ඒ සඳහා ධෛර්ර්ය හා නොපසුබට උත්සාහයයි.එමෙන්ම ආත්ම ශක්තිය හා කාර්යක්ෂම බවද මෙයට මහෝපකාරී වේ.තමා ගැන අසුභවාදී ආකාරයෙන් නොසිතා සුභවාදීව කටයුතු කරමින් බලාපොරොත්තු ජය ගත යුතුය .

                     ලෝකය ජයගත් මිනිසුන් කිසිවෙකු එම ජයග්‍රහණයන් ලබා ගනු ලැබුවේ රෝස මල් යහනාවන් මතින් ගොස්  නොව කටුක මාවත් අතරින්‍ ය යන්න අප අවධාරණය කර ගත යුතු වැදගත්ම කරුණකි.අභියෝග ජයගන්නට යන ගමනේ  ඔවුන් පැරදීම් වලට මුහුණ පෑ අවස්ථා බොහෝයි.එහෙත් එම විශිෂ්ඨයන් කිසිවෙක් එම පැරදීම් අමිහිරි අත්දැකීම් තුලින් අධෛර්යමත් වූයේ නැත.ඒ සියලු පැරදීම් ,ගැහැට තම ජීවිතයට යෝධ ශක්තියක් කර ගනිමින් ශ්‍රේෂ්ඨ චරිත බවට පත්වෙමින් ලෝකය ජය ගත්හ.

                     අලි බබා යනු ලෝක ප්‍රකට අප සැවොම දන්නා සමාගමකි.මෙම ලෝක ප්‍රකට සමාගමේ නිර්මාතෘ වන්නේ " මා යුන්" හෙවත් ජැක් මා ය.ජැක් මා ජීවිතය ආරම්භ කලේ සංචාරක මගපෙන්වන්නෙක් ලෙස යැයි සඳහන් වේ.චීනයේ හැන්ෂු පළාතේ සීජීඇන් ගම්මානයේ උපත ලද ද්‍රරිද්‍රතාවයෙන් පෙලුන පවුලක හිමිකරුවකු වූ ඔහු සංචාරක මගපෙන්වන්නෙක් ලෙස කිලෝමීටර හැත්තෑවක පමණ දුරක් දිනපතා ගමන් කල බව ඔහු ගැන සඳහන් කල විස්තරයක ඇතුලත් ව තිබිණි .එලෙසින් ජිවිතය පටන්ගෙන ඉදිරියට ගිය ජැක් මා ගේ ගමන නතර වූයේ ලෝකයේ ධනවත්ම ව්‍යවසායක චරිතයක් බවට මේ වන විට පත් වෙමිනි.දිනපතා පා පැදියෙන් ගමන් කිරීම දුෂ්කර කටයුත්තක් යැයි සිතා එම කටයුත්ත අත් හැරදැමුවේනම් අද වන විට අලි බබා සමාගමක්වත් අභියෝග ජයගත් සාර්ථකත ජැක් මා කෙනෙකුද බිහි නොවනු ඇත.ඒ එක් චරිතයක් පමණි.ලොව ජයගත් අනෙක් බොහෝ චරිත වල ඇත්තේද ඉතා කටුක වේදනාකාරී අත්දැකීම් ය.ලොව ප්‍රකට KFC සමාගමේ නිර්මාතෘවරයා ගේද ඇත්තේ ඉතා අමිහිරි අත්දැකීම් ගොන්නක්ය.කිහිප වතාවක්ම සොච්චම් වැටුප් ලබමින් රැකියාවලින් නෙරපා දැමීම් වලට මුහුණ පාමින් සිට ඇතිමුත් මේ වන විට ඔහු තම ගමන අවසන් කොට ඇත්තේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් දිනා ගෙනය.සුලුවෙන් ආරම්භ කොට ඉතා විශාල ජයග්‍රහණයන්  ,සාර්ථකත්වයක් ලබා ගෙන ඇති ආකාරය එම චරිත තුල කැපී පෙනේ.

අප සිහියට ගත යුතු කරුණු වන්නේ එම චරිත තුල ඇති ආදර්ශමත් ගුණාංගය.අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම කටයුතු කිරීම ,කාර්යක්ෂම බව හා ආත්ම විශ්වාසය යනාදියයි.මෙම ගුණාංගයන් ජීවිතයට පන්නරයක් කර ගනිමින් අපට ඇති සිහිනය කුමක් වුවත් එම සිහින ,අරමුණු වෙනුවෙන් කැපකිරීම් කරමින් ,සැලසුම් සහගතව වැඩ කටයුතු කරමින් ඉදිරියටම ගියහොත් සාර්ථකත්වයට පත්වී නැගීමට නියත වශයෙන්ම හැකි වේ.අප ජීවිතයට අභියෝග පැමිණේ.බොහෝ කටුක අත්දැකීම් වලටද මුහුණ දෙන්නට සිදුවේ.එහෙත් වැදගත්ම දේ වන්නේ කලබල නොවීමයි.ඒවාට විසදුම් සෙවිය යුතුය.ලෝකයේ විසඳුම් නොමැති ගැටලු නොමැත.එන අභියෝග වලට ශක්තිමත් වී නුවණින් සිතා බලා පිළිතුරු සොයා ජීවිතයේ දැවැන්ත ජයග්‍රහණයන් අපට ලබා ගත හැක.

                     අප ලාංකීය ව්‍යවසායක ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වූ සිවිලම ව්‍යාපාරය හි දක්වා ඇති තේමා පාඨයක් සිහියට නැගේ.එනම් "සමනලයෙකු වගේ පෙනී සිටින්න.නමුත් මී මැස්සෙකු වගේ වැඩ කරන්න" .....
හෙට දවසේ ලෝකය ජයගැනීම යථාර්ථයකි.ඒ සඳහා තමා සතු උපරිම ශක්තීන් ,ධෛර්ර්ය,කාර්යක්ෂමබව යොදමින් ඕනෑම අභියෝගයක්, සිහිනයක් ජය ගත හැකි බව සිත් හි රදවා ගෙන කටයුතු කලහොත් ජීවිතය ජයගැනූම කිසිදු අයුරකින් අපහසු කටයුත්තක් නොවේ .

4 comments:

Sanjanani 2019 trailer