Monday, August 27, 2018

...නූතන ටෙලිනාට්‍යය මගින් තරුණ පරපුරේ ආකල්ප හා චර්යා කෙරෙහි ඇති කරන බලපෑම ...


                        රටක දැයක පිටකොන්ද තරුණ පරපුරයි.තාරුණ්‍යභිමානයෙන් ඔද වැඩුනු සමාජය ප්‍රගතිශීලී සමාජයකි.ජාතික සංවර්ධනයේ පදනම තරුණ පරපුරයි.මෙම අවධියේ දී තරුණ තරුණයින් සාම්ප්‍රදායික දේවල් වලින් මිදී ස්වාධීන ජීවිතයක් ගත කිරීමට උනන්දුවක්  දක්වති.එහිදී රූපවාහිනීය නරඹන ටෙලිනාට්‍ය රුචි කරන තරුණ තරුණයින්ගේ ආකල්ප හා චර්යා පද්ධති කෙරෙහි එය ප්‍රබල බලපෑමක් ඇති කරන බව දැකගත හැකිය .
                                  රූපවාහිනී නාට්‍ය පිළිබඳව ඇතැමුන් කෙතරම් උනන්දු ද කියතොත් කෑම වේල ප්‍රමාදව ගත්තද ටෙලිනාට්‍ය නැරඹීම ප්‍රමාද කිරීමට ඔවුන් මැලි වෙති.තරඟකාරී රූපවාහිනීය තුල වත්මන වන විට රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක් ආරම්භ වීමත් සමග ගැටුමක් නිරායාසයෙන් පවතී.වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීම උදෙසා විවිධ ටෙලිනාට්‍ය ප්‍රචාරය කරයි.බොහෝ නාට්‍ය සිංහලෙන් හඬකැවූ වෙනත් සංස්කෘතීන් වල නිෂ්පාදිත ඒවාය.මේවායේ ගුණාත්මකභාවය ක්‍රමයෙන් පහල ගොස් ඇති අතර තරුණ පරපුරට මේවායින් උකහා ගත හැකි දෙයක් ඇත්දැයි සැක සහිතය.
                                     රූපවාහිනී මාධ්‍ය මෙරට ආරම්භ කරනු ලැබුවේ අරමුණු කීපයක් පෙරදැරිවය.එහි එක් ප්‍රධාන අරමුණක් වූයේ අධ්‍යාපනය නඟා සිටුවීමට දායක වීමයි.නමුත් තරුණ පරපුරේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා හෝ ඔවුන්ගේ පෞරුෂය සංවර්ධනයට රූපවාහිනීය තුලින් ඉටු වන මෙහෙය සැලකිය යුතු මට්ටමක නොමැත.
                                         රූපවාහිනීයේ විකාශනය වන ටෙලිනාට්‍ය වල නලු නිලියන්ගේ චරිත මගින් භාවිතයට ගැනෙන විලාසිතා අදින්නට පළදින්නට තරුණ පරපුර පෙළඹී ඇත.නවතම විලාසිතා වනුයේද ඒවාය.ඔවුන්ගේ කොණ්ඩා මෝස්තර බෙහෙවින් තරුණ පරපුර අතර ප්‍රචලිතය.පෙරදී රස්තියාදු තරුණයින් භාවිතා කල ඇඳුම් පැළඳුම් ,කොණ්ඩා මෝස්තර වුවත් ටෙලිනාට්‍යක ජනප්‍රිය චරිතයක් භාවිතා කරන්නේ නම් ඒව අනුගමනයට තරුණ පරපුර මැලි නොවන අයුරු දැකගත හැකිය.ඇතැම් විට අසංවරශීලී  අඩනිරුවත් විලාසිතා ද මේවායේ යොදාගනු දැකිය හැකිය.මෙයින් සිදුවන්නේ රටේ අනාගතය වන තරුණ පරපුර නොමගට යාමයි.වර්තමාන තරුණ පරපුරේ ජාතික ඇඳුම වන් "ඩෙනිමට" ඔවුන් හුරුපුරුදු වූයේ ටෙලිනාට්‍ය මගින් යැයි පැවසුවහොත් අසත්‍ය නොවනු ඇත.අද සමාජයට මෙය නැතිවම බැරිය.
                                ටෙලිනාට්‍ය වල පිසෙන ආහාරපාන නිවෙස්වලද පිසෙයි.එමෙන්ම වඩාත් අවධානය යොමුවිය යුතු දෙයක් වන්නේ මෙම  ටෙලිනාට්‍යවල යොදාගැනෙන භාෂාවයි.බොහෝ විට මෙය සිංහල -ඉංග්‍රීසි මිශ්‍ර වූවකි.මීට තරුණ පරපුරද යොමුවී ඇත.එවිට සිංහල භාෂාවට යන කල දසාව කුමක්ද යන්න ගැටලුවකි.එමෙන්ම ඇතැම් ටෙලිනාට්‍යවල භාෂාව අසංවරශීලී ලෙස භාවිතයට ගන්නා අයුරු අද දැකගත හැකිය.ටෙලිනාට්‍ය තුලින් තරුණ පරපුර තුල ප්‍රචලිතව ඇති ඇතැම් වචන මෙම කලාකරුවන්ට ආවේ කොයින්දැයි සිතාගත නොහැකිය ."නියමයි,අනර්ඝයි,ලස්සනයි " යන වචන වෙනුවට අද තරුණ තරුණියෝ යොදාගන්නේ "පට්ට" යන වචනයයි. ඉස්සර සිංහලයා "පට්ටපල් හොරා,පට්ට බොරුකාරයා ,පට්ට....." වැනි  යම් පහත් බවක් දැක්වීමට යොදාගත වචනයක් අද ඊට හාත්පසින්ම වෙනස් අර්ථයක් පිණිස යොදාගනී.කල්‍ යත්ම මෙම වචනයේ නිවැරැදි තේරුම පිළිගැනීමට තරුණ පරපුර මැලිවනු ඇත."කෑල්ල ,පහර" ආදී ටෙලිනාට්‍ය ඇසුරෙන් බොහෝ අමුතු වචන සමාජගත වී ඇති අයුරු දැකගත හැකිය.එසේම මේවායේ ආවේශකර හැසිරීම් ,හැඟීම් උත්පාදනය දර්ශන  තරුණ පරපුරේ මොළ කුරුවල් කිරීමට දායක වනු ඇත.

                   අපේ රටේ බහුතරයක් තවම ගම්බදව වෙසෙන අතර නගරබදව සිටින බොහෝමයක් ද ග්‍රාමීය දෙමව්පියන්ගේ දරුවෝය.රූපවාහිනී තිර රචකයන්ගේ වගකීමක් වනුයේ මොවුන් තුල යහ ගුණධර්ම  වැඩිදියුණු කිරීමයි.වාණිජ අරමුණු පමණක් ගැන නොසිතා සංස්කෘතියට පටහැනි,තරුණ පරපුර නොමගට යොමු කරන නාට්‍ය දර්ශනද විකාශය නොකල යුතුය.පැහැදිලිවම කිවහොත් රටේ ජනතාව පාලනය කරන යතුරක් ලෙස ටෙලිනාට්‍ය හැදින්විය හැකිය.තරුණ පරපුරේ ආකල්ප හා චර්යාවන් වැඩිදියුණු කරමින් රට සංවර්ධනයට මේ තුලින් වුශාල මෙහෙයක් කල හැකිව පවතී."අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" ලෙස කුමාරතුංග මුනිදාසයන් පවසා ඇත.නමුත් මෙම වෙනස් වීම කරන ගමනේදී වෙස් මුහුණු බැඳ ගැනීම අනුවණය.ටෙලිනාට්‍ය හරහා තරුණ පරපුර තුල ආකල්පමය හා චර්යාමය දියුණුවක් ඇති කිරීම පිණිස ක්‍රියා කල යුතුය.
     
                         U. දිනුෂිකා සමන්මලී කුමාරි

No comments:

Post a Comment

Sanjanani 2019 trailer