Sunday, July 29, 2018

විසිරුණු මල්🌼🌼🌼






❤❤❤හදවත නැවතුමට පෙර මොහොතක් ආවොත්....❤❤❤


දවසක ආවොත් කවදාහරි
සිහිවෙන දිනක් නුඹට මා
හද ගැඹුරට ම එබෙමින්
අතගා බලන්නට මතක
දිනක් ආවොතින් සිතෙනා
මා ලගට දුව විත් හුරු පුරුදු
සුවඳම විදගන්න සිතුනොත්
එන්න නුඹ පමා නොවීම

දුන් සෙනෙහස නුඹට
හිත පතුලෙ  සඟවගෙන
ලැබුනු කඳුලු බිදු නුඹෙන්
නෙත් අගම සඟවගෙම
එතෙක් ජීවත් වෙන්නම් මාත්
නුඹ දිනෙක එතැයිම සිතමින්

හැකි වුනොත් එන්න නුඹට
පෙර මගේ මළගමට
නුඹටම වෙන් වූ ඒ සෙනෙහස
මං දෙන්නම් අහිතක් නොසිතාම
බැරි වුනොත් එන්න මළගමට පෙර
එපා කඳුලු සලන්නට නුඹ
හමුවෙමු යලිත් මතු භවයේ

U.දිනුෂිකා සමන්මලී



Saturday, July 28, 2018

ජීවිතය යනු මෙයද…



කුඩා කල් හි මා ලොකු මිනිසෙක් වන්නට සිහින දුටිමි… පාසල් යන විට විභාග
සමත් වන්නට නිරතුරු වෙහෙසුනෙමි…. විභාග සමත් වූ කල සරසවි යාමට
සිහින දුටුවෙමි… සරසවි ආ කල යලිත් විභාග පිණිස වෙහෙසෙන විට,
ජීවිතය තුලින් මා ලැබූ දෙයක් ඇත්දැයි වරෙක මා මගෙන්ම අසමි….
අරමුණු පසු පස හබාගියා මිස ජීවිතය විදින්නට මා හට මගහැරුනි දැයි මටම සිතා ගැනීමට අපහසු ය.

U.දිනුෂිකා සමන්මලී කුමාරි





පෙම් කලා මා♥️♥️♥️

කඳුල තනි මකන විට නෙත් ලග
පෙම් කලා නෙත් ඒ කදුලු බිදුවට…

සනසන්න කෙනෙක් නැති කල ලග
පෙම් කලා හිත ඒ තනිකමට…


යලි ගන්න බැරි නිසා පෙම
පෙම් කලා මා අහිමි නුඹටම…

නැති වෙන්න කිසිත් නුවූ කල මට
පෙම් කලා මා ඒ හිස් බවට ම….

U.දිනුෂිකා සමන්මලී කුමාරි

Friday, July 27, 2018

සිහිනයක සැබෑවක්...

           සමනලීට පොරොන්දු වූ පරිදි ඇගේ නිවසට යාමට දීර්ඝ බස් ගමනේ දෙවන අදියර එලඹ තිබිණි.සියඹලාපේ හංදියෙන් ඇය කී පරිදිම 224 බසයට නැඟුනු මා දොම්පෙට ටිකට් පත ලබා ගතිමි.

“...දොම්පෙට යන මිනිස්සුන්ට දීග වල ලු යන්ඩ වෙන්නෙ නේද බං  ..."

මාහට යාබඳ අසුනේ සිටි පිරිමි ළමුන් දෙදෙනා මා දෙස බලමින් සිනාසෙමින් කියනු මට පෙනිණි. මෙය අසා පුරුදු බවක් දැනුනත් එහි අර්ථයක් මා නොදැන සිටි බැවින් ඔවුන්ට රවා ඉවත බලාගත් මා සමනලීගෙන් මේ පිළිබඳ විමසා දැන ගැනීමට අදිටන් කර ගතිමි.


*********බසයෙන් බැස මා යෙහෙළියගේ නිවස විපරම් කරමින් සෙමින් ගමන් කරේ වරක් පැමිණ තිබූ හෙයින් ඒ මතකය ආවර්ජනය කරමිණි. මාර්ගයේ දෙපස තිබූ කෙත්වතු ප්‍රදේශයේ සුන්දරත්වය ඔප් නන්වන බව මට සිතුණි.
              කල්පණාබරව මඟ දෙපස පිළිබඳ විමසිල්ලෙන් ඇවිද යන විට යම්කිසි දේවාලයක් වන් ස්ථානයක මිනිසුන් පිරී පුණ්‍ය කටයුත්තකට සූදානම් වන බවක් ද මා දුටිමි. නන්නාදුනන ප්‍රදේශයක් බැවින් මා චකිතයකින් යුතුව ඉක්මන් ගමනින් එතැනින ගමන් කළෙමි.

********මා නිවසට සේන්දු වන විට යෙහෙළියගේ  අත්තම්මා මිදුලේ සිටිනු පෙනිණි.
“චූටි, මෙන්න යාලුවා ඇවිත්”
අත්තම්මා පවසනවාත් සමඟ යෙහෙලිය පැමිණ මා පිළිගැනිණි.

විශ්වවිද්‍යාලයේ මාගේ හොදම යෙහෙළිය වන සමනලීගේ ඉල්ලීම පරිදි නිවාඩු කාලයෙන් දින කීපයක් ඇගේ නිවසේ ගත කිරීමට මා පැමිණුනෙමි. ගමන් වෙහෙස නිසා ඉක්මනින් ඇග පත සෝද ආහාර ගැනීමෙන් අනතුරුව අප ආගිය තොරතුරු කතා බහ කරමින් සිටියෙමු. එවිට මට බස් රථයේ සිදුවීම සිහිපත් විය.
එය පැවසූ මා
“ඇත්තටම ඒ කියන්නෙ මොකක්ද හලෝ” විමසීමි.

එය අසා සිනාසෙමින් සමනලී අත්තම්මා දෙස බැලීය.

“ඇත්තටම දුවේ ඕක අපේ ගමේ තියන පරණ කතාවක්. හැබැයි ලංකාවෙම ඕක හරි ප්‍රසිද්ධයි” අත්තම්මා පැවසූ විට එම කතාව දැන ගැනීමේ නොඉවසිල්ලක් මා හට ඇතිවිය.

“අත්තම්මෙ ඒ කතාව කියන්නකො”
මා පැවසුවේ එබැවිණි.

හරිබරි ගැසී වාඩි වී බුලත් හෙප්පුවද ලං කරගත් අත්තම්මා බුලත් විටක් සපන අතරතුර කතාව පටන් ගත්තාය.

“ඉස්සර අපේ පලාතෙ ගම රාළ කෙනෙකුයි ගම මහගේ කෙනෙකුයි හිටියලු. මේ දෙන්නම ටිකක් බීරි. එයාලට ලස්සන දුවෙක් හිටියලු ඒත් එයාටත් හරියට කන් ඇහුනේ නෑ. ….
…...දවසක් ගමයාගෙ හේනෙ බතල බැහිලා නිසා හාරන්න අරගෙන ඉන්නකොට ඉලන්දාරියෙක් ඇවිත් දොම්පෙට යන පාර ඇහුවලු. ගමයගෙ කන් ඇහෙන් නැති නිසා බතල ගැන අහනවා කියල හිතන් උත්තර දුන්නලු…..”

“ඕක ගැන කියන සිංදුවනම් නියමයි නේද අත්තම්මෙ..” යි කතාව මැදින් සමනලී විමසීය.

“ ඔව් සිංදුවෙන් හරි අපූරුවට ඒ කතාව විස්තර කරනවා. ඒකෙ තියෙන්නෙ මේ විදියටයි දුවේ..” බුලත් කෙළ පහරක් ගසමින් අත්තම්මා ගායනයක විලාශයෙන් කියන්නට විය.


“තරුණයා-දොම්පෙට යන පාර කොයිබදෝ

ගමයෝ මට කියා දෙන්නකෝ.


ගමයා-බතල හොදට පැහිල තියෙනවා.
හාරන තුරු ටිකක් ඉන්නවා.

තරුණයා - උ‍ඔගෙ ඉලව් බතල මට එපා.
දොම්පෙට යන පාර කියාපන්.


ගමයා- ගම හාමිනේ මෙන්න මෙහෙ වරෙන්.

මේ මිනිහට බතල ගැන කියන්.


… මේ ඉලන්දාරියා බතල ගැන උනන්දුවක් නෑ කියලා පෙනුනම ගමරාල හාමිනේට කතා කරා. ඒත් ගමරාළ වගේම බීරි ගම හාමිනේ හිතුවෙ තමන්ගෙ පැදුරු ගන්න කෙනෙක් ඇවිත් කියලලු ඉතින්...”



තරුණයා- දොම්පෙට යන පාර කොයිබදෝ….?
හාමිනේ මට කියා දෙන්නකෝ.

හාමිනේ- පැදුර හොදට වියල තියෙනවා.
සායම් ටික දමා ඉවර නෑ.

තරුණයා- උඔගෙ ඉලව් පැදුර මට එපා.
දොම්පෙට යන පාර කියාපන්.

“..හාමිනේ හිතුවේ පැදුර ලස්සන උනාට සායම් නොදා දෙන්නෙ කොහොමද කියලා. ඒත් ඉලන්දාරියාගෙ තරහා පේන මූණ දැකලා ගම හාමිනේ දුවට කතා කරාලු….


මා ඉතා උනන්දුවෙන් කතාව අසා සිටිනු දැක සමනලී උපහාසයට මෙන් සිනාසෙනු දුටු මා ඇයට සෙමින් පහරක් ගැසුවෙමි.

“.......හාමිනේ- අනේ දුවේ මෙන්න මෙහෙ ව‍රෙන් මේ මිනිහට පැදුර ගැන කියන්.


තරුණයා- ඔබවත් දැන් ඉතින් නංගියේ.
දොම්පෙට යන පාර කියාපන්.

නංගි- තරුණෙක් අද එනවා යයි කියා.
කපුට කීවෙ ඒ තමයි ඔයා.
අම්මා අප්පා දෙන්න කැමති නම්
කසාදයට බොහොම කැමති මං

තරුණයා- ආවේ නම් දොම්පෙට යන්නයි
සිද්දවුනේ දීගෙක යන්නයි”

…..ඒ කාලෙ මිනිස්සු විශ්වාස කරානෙ කපුටු සාස්තර ගැන එහෙමත්. අන්තිමේ ඉතින් දොම්පෙට යන්න ආපු ඉලන්දාරියාට වුනේ දීගෙක යන්ඩ… ඕක ඉතින් මිනිස්සු දොම්පේ ගැන කියද්දි කවටකමක් වගෙත් කියනවා. දුවට වුනෙත් ඒක”
අත්තම්මා සිනාසෙමින් කීය.

එය අසා මටද සිනහ නැඟිනි. ජන කතා වලින් සාම්ප්‍රදායික සමාජය මොනවට පිලිබිඹු කරනවා නොවෙදැයි මට සිතිණි. නිශ්චිත රචකයෙක් සොයා ගත නොහැකි වුවත් මේ ජනශ්‍රැති ජනයා තුල කොතරම් මුල් බැස ගෙනද..

“ඔය කතාව හරි ප්‍රසිද්ධයි. වේදිකා නාට්‍ය වල එහෙමත් රඟපානවා.” යි සමනලීද සිනාසෙමින් පැවසුවාය.

“ඒක නෙමේ සමනලී දැන් නිවාඩුවට මෙහෙ ආවට මෙහෙ බලන්න මොනවද තියෙන්නෙ” මා විමසීමි.

“බලන්න නම් මොනතරම් දේවල් තියනවද. ඉගනීමට වුනත් වැදගත් ඉතිහාසයක් තියන තැන් මේ සියණෑ කෝරලේ එමටයි” බුලත් විට සැපීමෙන් ම රත් පැහැ වූ මුවින් අත්තම්මා පැවසුවාය.

“අපිට පුළුවන් අත්තනගලු විහාරෙ යන්න. සමනලී දන්නවද ඒකෙ තමයි සිරිසඟ බෝ රජ තුමා මතු බුදු බව පතා හිස දන් දුන්නා කියන්නෙ.” දැනුමැත්තියක් මෙන් සමනලී පැවසුවාය.

“ඒ කතාවනම් මං ටිකක් අහලා තියනවා. ඒත් මෙහෙට සම්බන්ධයි කියලා හිතුවෙ නෑ” මා පැවසූවේ අත්තම්මා දෙස බලමින් ය.

“සිරිසඟ බෝ රජතුමා බොහොම ධාර්මික රජ කෙනෙක් නෙ. නියඟ තියෙන කාලෙක මහ මලුවෙ සත්‍යක්‍රියා කරලා මහ වැසි වැස්සුවා ,රක්තාක්ෂි කියන යක්ශයා මිනිස්සුන්ව ලෙඩ කරද්දි ඒකෙන් මිනිස්සුන්ව බේර ගත්තෙත් සංඝබෝධි රජු කියලා දුවලා ඉඟනගෙන තියනවා නේද?

අත්තම්මගේ විමසීම සනාථ කරමින් මා හිස සැලුවෙමි.

“ධාර්මික කම නිසා එතුමාට රටේ මිනිස්සු බොහොම හිතවත් වෙද්දි ගෝඨාභය කුමාරයා ආක්‍රමණයට ආවනෙ. ගෝඨාභය උතුරු දොරටුවෙන් එද්දි ගැටුම් වලට අකැමැති රජතුමා දකුණු දොරටුවෙන් පලා ආව කියනවා. එහෙම ඇවිත් දොම්නසින් විසූ ප්‍රදේශය පස්සෙ දොම්පේ වුනා කියලත් මිනිස්සුන්ගෙ පිළිගැනීමක් තියනවා….” පඩික්කමට බුලත් කෙල ගැසීමට අත්තම්මා කතාව මඳක් නැවතීය.

“.......බණ භාවනා කරන් ජීවත් වුණු මේ රජතුමාට අත්තනගලු වනයෙදි හම්බුනු දුගියාට තමයි මතු බුදු බව පතන් හිස දන් දීලා තියෙන්නෙ. මොකද එතකොට ගෝඨාභය රජ වෙලා සංඝබෝධි රජුගේ හිස ගේන කෙනෙක්ට රන්මසු දහසක් දෙනවා කියලා අඬබෙර වැයුවලුනෙ… අත්තනගලු විහාරයේ හිස දන් දුන් තැන ප්‍රතිමා හදලා තියනවා දුවට ගියහම බලන්න පුළුවන්..” මා දෙසට හැරී එසේ පවසමින් අත්තම්මා කතාව හමාර කෙරුවාය.

අත්තම්මා දෙස තුති පූර්වක බැල්මක් යොමු කර සමනලී දෙස බලන විට ඇය නිදිකිරමින් සිටිනු මා දුටිමි. මටද වෙහෙස නිසාම නිදිමතක් දැනුණි.
                                            
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
             
මා සිටියේ ගඟක් අසබඩය. යෙහෙළිය ද මා සමඟ පැමිණුනත් දැන් ඇය පෙනෙන්නට නොමැත. අවට පරිසරය කළුවරින් වෙලාගෙන තිබිණි. මාහට මහත් බියක් දැනෙන්නට ගතිමි. මා අසලින් තිබූ ගුරු පාරක් දිගේ ඇවිදන් යන්නට වූයේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාවෙනි. එකවරම පාරේ දුටු පුද්ගලයකු දැක මා තිගැස්සුනෙමි. සුදු පැහැ වස්ත්‍රයක් ඇස උඩු කය සලුවක් පමණක් දමා සිටි ඔහුගේ අතේ සැරයටියක් වැනි යමක් තිබෙනු දුටු අතර මා කරා සේන්දු වූ එම තැනැත්තා

“මේ පාර යන්නෙ ගඟට. අර පාරෙන් යන්න” කියා අත දිගු කල දෙස බැලූ මට තවත් මාර්ගයක් දිස්වුණි.
ඒ පුද්ගලයාට ස්තූති කිරීමට බැලූ මා දුටුවේ ඔහු එහි නොමැති බවයි. අතිශයින් භීතියට පත් මා සැනෙන් තිගැස්සී අවදි වුණෙමි. දෙවියන්ට ස්තූති වන්න මා දැක ඇත්තේ සිහිනයකි. නමුත් ඒ සිහිනය කුමක්ද. කල්පණාව අතරතුර නැවතත් නිදි දෙව්දුව මා කරා පැමිණුනාය.

****** “ගඟනී, අපේ පුංචි අම්මලගෙ ගෙදර ලොවිත් තියනවා වෙරළුත් තියනවා. යමුද කඩන් එන්න අච්චාරු හදන් කමු” සමනලීගේ වදන් අනුව එහි යාමට මා පෙළඹවූයේ අච්චාරු පිළිබඳ වූ ආසාවය.

ගමන අතරතුර මා ඊයේ දුටු දේවලයක් වන් ස්ථානය නැවත දුටිමි. ඒ පිළිබඳ මා යෙහෙළියගේ විමසීමි.

“ඒ රංවල දේවලේ. අපේ ගම් වල ආරක්ෂකයා විදියට සලකලා වැදුම් පිදුම් කරන්නෙ රංවල මුත්තට. එන්න පෙන්නන්න” පවසමින් ඇය මාගෙ අතින් ඇදගෙන දෙවොලට ගියාය.

“රන්වල දානෙට ලෑස්ති වෙනවා කට්ටිය. අපි වැඳලා යමු” සමනලී කීවාය.

දෙවොලේ දේව රූපය දුටු මා තිගැස්සුනිමි. රැයේ සිහිනෙන් මට පාර කිවූ පුද්ගලයාට මේ රුව බෙහෙවින් සමානය. මට කිසිත් සිතාගත නොහැකි විය.
“මොකද මේ බයවෙලා වගේ” මාගේ වෙනස දුටු යෙහෙළිය ඒ ගැන විමසුවත් මට එක්වර කිසිවක් කියා ගැනීමට නොහැකි වීමි.

“වැදලා ගෙදර යන්. කියන්නම්” මා  පැවසූ නමුත් ඇය කුහුළින් පිරි බැල්මක් හෙලුවාය.

අප වැද එන විට දේවාලය අසල ගොක්කොල වලින් සැදූ පහන් එල්ලා තිබෙනු මා දිටිමි.


****පුංචිලාගෙ ගෙදර නොගොස් ම අපි ආපහු නිවසට ආවෙමු.

“මොකෝ මේ ගිය පයින් ම” අප දුටු අත්තම්මා විමසුවාය.

“රංවල දේවලෙ පෙන්නන්න ගියා මෙයාට. එවලෙ ඉදන් අමුතුයි. මාත් මේ ආවෙ මොකද කියලා දැනගන්න” සමනලී පැවසුවේ මා දෙස හැරී දැන් කියන්නැයි වැනි බැල්මක් හෙලමිනි.

මා දුටු සිහිනය මා ඔවුන්ට පැවසුවෙමි.

“සාදු සාදූ. වාසනා කරලා ඔය දැරිවි රංවල දෙයිහාන්දුරුවන්ව සිහිනෙන් හරි දකින්න” අත්තම්මා දැඩි භක්තියකින් පැවසුවාය.

නමුත් මෙය මට මහත් ප්‍රශ්න රැසකි. මෙම දෙවියන් සිටිනුයේද ගැමියෙකුගේ ස්වරූපයකිනි. නමුත් ඔහුට ජනයාගේ ගෞරව භක්තියේ අඩුවක්ද ඇත්තේම නැති ලෙසකි.
“අත්තම්මෙ ඒ දෙවි කෙනෙක් නම් ගැමියෙක් වගේ ම ඉන්නෙ ඇයි? මට තේරෙන් නෑ”
මා පැවසුවෙමි.

“රංවල දෙවි ඇදහිල්ල අද ඊයෙක පටන් ගත්ත එකක් නෙමෙයි දරුවො. 17 වන සියවසේ ඉදන් තියන දෙයක්. එතුමා මේ පළාතේ ජීවත් වෙච්ච උපාසක චරිතයක්.”
අත්තම්මා කීවේ කොලපතකට ඉරටු සුද්ද කරන අතරතුරය. මේ කොසු ඉදල් තියෙද්දි ඉලපත් සැදීම නිකරුනේ මහන්සි වීමක් මෙන් මට සිතිණි. ඒත් ඒ සිතුවිල්ල පසෙක ලා මා දේව උප්පත්ති කතාව ඇසීමට හරි බරි ගැසුනෙමි.

“දෙවන රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලේ රජතුමාගේ පත්තායමක් ඒ කියන්නෙ වී බිස්සක් කෑගල්ලෙ රන්වල ගමේ තිබ්බලු. ඕකේ ආරක්ෂකයො වුනේ අලවතුරෙ රාළත් ගනේගොඩ රාළත්. මේ දෙන්න එක්ක තරහක් තිබ්බ කෙනෙක් පත්තායම ගිනි තිබබා. ඒකට ආරක්ෂකයො දෙන්න රාජ උදහසට ලක් වෙද්දි ඔවුන් කලේ ඒ ගම අතෑරලා පලා යාම. එහෙම ඇවිත් කැළණි ගග ලගට ඇවිත් උණ පහුරු හදන් ගඟ දිගේ පහලට ආවලු. ගඟ දිගේ ගොඩක් දුර ආපු අලවතුරෙ රාළ  එගොඩ වෙලා එතකොට කැළෑබඳ  වෙලා තිබ්බ ප්‍රදේශයක් එලි පෙහෙළි කරලා ගමක් හැදුවලු. තමන්ගෙ ගම මතක් වෙන්න රංවල කියලා නම තිබ්බා කියලා කියනවා මිනිස්සු” කියමින් අත්තම්මා අනෙක් පොල් කොල  මිටියද කිට්ටු කර ගත්තාය.

“ගමේ දියුණුවට ගොඩක් දේවල් කරපූ මේ අලවතුරෙ රාළ හොද උපාසකයෙක්. හතර පෝයට සිල් ගන්න කැළණි ගඟ දිගේ කැළණි විහාරෙට යනවලු. ඒ විතරක් නෙමේ ගගේ අනතුරුදායක ගල්කුළු වල පුහුල් පහන් පත්තු කරනවලු”

“ඇයි ඉතින ඒ් පහන් පත්තු කරන්නෙ” මා විමසුවේ කුතුහලයෙනි.

“ඒ කාලෙ ගමනාගමනය දියුණු නෑනෙ පුතේ. සියණෑ කෝරලේ ගංමිටියාවතේ හිටපු ගොඩක්  උදවිය ගඟෙන් තමයි  ගමන් ගියෙ. රෑට යද්දි ඔරු පාරු ගල්කුළු වල හැප්පිලා මිනිස්සු මැරෙනවලු. හරියට අනතුරු වෙනවලු. මේකට රංවල මුත්තා උපායක් හිතලා ආන්තරාව තියන තැන් වල පහන් පත්තු කරාලු. ඒව නිකන් පහන් නෙමේ. බට ලීයක් පලල ගොක්කොල ගහලා  පුහුලක් වගේ හදපු පහන්. ගොක්කොල නිසා එළිය ගොඩක් දුරට පෙනුනලු.”


“ඒ පහන් ද දේවලෙ ලග තිබ්බෙ” මා විමසීමි.

“ඔව්. ඒවට පුහුල් පහන කියනවා. මෙහෙම ගමේ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂකයෙක් වෙච්ච උපාසක ඇත්තට ගම්මු හරියට ගරු කරා. රංවල මුත්තා කියලයි කිව්වෙ. රංවල මුත්තා ආධ්‍යාත්මිකව ශක්තිය තිබ්බ කෙනෙක් කියනවා. මිනිස්සුන්ගෙ ඕන දුකකදි පිහිට වුනාලු. මේ රංවල මුත්තා වයසට ගිහින් ඉද්දි ගමේ අය සලාක ක්‍රමයට දානෙ දුන්නලු….

ඔහොම ඉද්දි දවසක් ඉඩෝරෙකින් පස්සෙ මහ වැසි වැස්සලු. දවස් තුනක් මේ වැස්ස තිබුනා කියනවා. වැස්සෙන් පස්සෙ මුත්ත ගග ලඟ පේන්න නැති නිසා බලද්දි ,
මිය ගිහින් ඉදලා තියනව. හොයලා බලද්දි  දවස් තුනක්ම කෑම නොලැබීමෙන් මේක වෙලා තියෙන්නෙ. පස්සෙ ගමේ මිනිස්සුන්ට මේක ගොඩක් බලපෑවා.”
අත්තම්මා පැවසීය.

“ඒ කොහොමද අත්තම්මෙ මිනිස්සුන්ට ඒක බලපෑවෙ” මා විමසීමි.

“මුත්තා මිය ගිය දවසෙ පැලට උඩින් හෙන 7ක් පිපුරලා දවස් හතක් මහ වැසි තිබ්බලු. ගං වතුර ඇති වුනාලු. ජීවිත කාලෙම මිනිස්සුන්ට උදව් කරලා ජීවිත බේරගත්ත මුත්තගෙ ජීවිතේ, මිනිසුන්ගෙ අතපසු වීමෙන් නැති වුනු එක ගැන ගම්මු හරියට බය වුනා. ගමේ රෝග පැතිරුනා, මිනිස්සු බය වුනා එක එක දේට කියලා කියනව. ඒත් වෙනදා වගේම ගඟ අසබඩ මඟ පෙන්වන පුහුල් පහන් පත්තු වුනා. එතකොට මිනිස්සු හිතුවලු රංවල මුත්තා බලගතු ආත්මයක් ලබලා කියලා. ඔහොම ටික දවසක් ඉද්දි  එල්ලක්කල දේවාලෙක කපු මහත්තයෙක්ට රන්වල මුත්තා ආවේශ වෙලා තියනවා”
අත්තම්මා පැවසුවේ ගෞරව පූර්වකව ය.

“පස්සෙ මොකද වුනේ?”

“ඒ ආවේශයෙන් කියලා තියනවා තමා බලගතු ආත්මයක් ලබා ඇති බවත් ගම්මු ගැන කලකිරීකින් ඉන්න බව…
ඒකට කරන්න වත් පිළිවෙත් අහද්දි, මුත්තා හැදුවා වගේ පුහුල් පහන් පත්තු කරන්න කියලා.  ඒ වගේම, දන් පිලිගන්වන්න කියලා. පුහුල්, අළු කෙසෙල්, මස් වර්ග දානයට අකැප බවත් තමන් ස්ත්‍රී පාර්ශවය විසින් සකසන ආහාර පිළිනොගන්නා බවත් කියලා තියනවා.”

“ඒ ඇයි ස්ත්‍රී පාර්ශවයේ දාන පිළිගන්නෙ නැත්තෙ” කුහුලින් යුතුව මා විමසීමි.
“ඒ  ඉස්සර ගෑනු උදවිය තමයි සලාක ක්‍රමයට දන් පිළිගන්වලා තියෙන්නෙ. එයාල අතින් වුනු වරද නිසා ආයෙත් රන්වල දෙයියන්ට දන් පිළිගන්වද්දි ඒවා සම්පූර්ණයෙන් පිරිමි උදවිය විසින් සැකසීම හා පිළිගැන්වීම කළ යුතු බව තමයි කියලා තියෙන්නෙ. අදටත් රන්වලා හාමුදුරුවන්ට හදන දානෙට ස්ත්‍රී පක්ෂය සම්බන්ධ වෙන් නෑ… මේ ගම් පළාතෙම ආරක්ෂකයා විදියට හැමෝම එදා ඉදලා රන්වල මුත්තාව අදහනවා.”....

ඇගේ කතාව අනුව ලංකාවේ බොගෝ ප්‍රදේශීය දෙවිවරු මෙන් රන්වල මුත්තාද මරණින් පසු වන්දනීයත්වයට පත්ව ඇති බව මට වැටහිනි. ජන විශ්වායේ පවතින බොහෝ දේ මිථ්‍යා යැයි කියා බැහැර කල නොහැක.
“ඉතින් අත්තම්මේ රංවල දෙවියො ඇත්තක්මද” මා විමසුවේ නොඅසා බැරි නිසාමය.

“ හා හා ළමයො කට වරද්ද ගන්නෙපා. අදටත් ලෙඩක් දුකකදි සුභ කටයුත්තකදි රන්වල දෙයියන්ට බාර වෙලා පඬුරු ගැට ගහනවා. පුහුල් පහන් පත්තු කරලා ඒ බාර ඔප්පු කරනවා. හරිම අනුසස්. පුවක් පිටිය රන්වල දේවලෙට ගියොත් බලාගන්න පුලුවන් ඒවා.
ඒ විතරක්ද පහු ගිය කාලේ මෙහෙ කුමාරි මුල්ල තොටුපලේ රත්තරන් මතු වුනා. මිනිස්සු හරියට ලාබ ලැබුවා. රටේම ඕක ප්‍රසිද්ධ වුනා ඒ කාලෙ. රංවල දෙයියන්ගෙ අනුහසින් රත්තරන් මතු වුනේ.
ඒත්  ගඟෙන් නාන්න ආපු පිට පළාතක   මනූසයෙක් ඕක අහලා
“රත්තරන් දෙන රංවල දෙය්යො ඇත්තෙ ගඟේනෙ. මං දෙය්යියන්වත් හම්බෙලාම එන්නම්”කියලා උපහාසයට කියලා තමයි වතුරට පැනලා තියෙන්නෙ.”

“ඉතිං මොකද වුනේ”

“ආයෙත් ඒ මනුස්සයට ගොඩ එන්න හම්බුන් නෑ ඉතිං. වතුරට බැහැපු ගමන් දියේ ගහගෙන ගියාලු. එයාගෙ ජීවිතේ බේර ගන්න හදපු අයත් ජීවිත බේර ගත්තෙ අනූනමයෙන්ලු.”
එය අසා මා හටද සිහිනය මතක් විණි.

“ඒ විතරක් නෙමේ රංවල මුත්තා ඉදපු පැල හරියෙ ගඟේ තියනවා කොග්ගල කියලා ගලක්. ඒකෙ රෑට රන්වල මුත්තාව හරි පහන් දල්වලා තියනවා හරි දැකපු අය ඉන්නවා ඕනතරම්. ගංවතුර කාලෙටත් මිනිස්සුන්ට මඟ පෙන්නනවා.  ඒත් ප්‍රසිද්ධියේ කියන් නෑ. රන්වල මුත්තා එයාගෙ රහස් කාටවත් කියනවට කැමති නෑලු” ඉරටු ගලවා අවසන් වූ අත්තම්මා ඒවා එකට තබමින් සිටියාය.

“ඒ ඇයි රහස් කාටවත් කියනවට අකමැති කියන්නෙ අත්තම්මෙ”

“ඒක ඔප්පු වෙච්ච කතා තියනවා ඕන තරම්. මං මතකෙ තියන එකක් කියන්නම්. ඔය කොග්ගල පහලින් රංවල දෙවි මාළිගාව තියනවලු. ඕක බලන්න දවසක් කෙනෙක්ට ඕන වුනා. ඒ මනුස්සයාට කිඹුල් කොටාගෙ බරා කියලා තමයි නම කියන්නෙ. දවසක් මෙයා නාන්න ගිය පාර ආයෙ මතු වුන් නෑලු. මිනිස්සු එයා මැරිලා කියන් හත් දවසෙ දානෙත් දුන්නලු. ඒත් දානෙ  දවසෙම බරා ආයෙ ආවලු කිසි කරදරයක් නැතිව.”

“ගගේ ගිලුනු කෙනෙක් දවස් හතකින් ආයෙ එන්නෙ කොහොමද අත්තම්මෙ” සමනලී විමසූවේ මා සිතේ තිබූ පැණයමය.

“ඕක තමයි ඒ මිනිස්සුන්ටත් තිබුනු ප්‍රශ්නෙ. බරාට මිනිස්සුන්ගෙ බල කිරීම නිසා කියන්නම වුනාලු වෙච්ච දේ.
“මං ගඟට පැන්නම මට දැනුනා මාව කොග්ගල පැත්තට ඇදිලා යනවා. මාව රන්වල මාලිගාවට ගිහින් තමයි නතර වුනේ. ඒකෙ පාරවල් ගොඩක් තිබ්බා. හැම තැනම පුහුල් පහන් පත්තු කරලා. රත්තරන් පාටට එළියයි. මට රන්වල දෙවියෝ හම්බුනා. මොනවදෝ කෑමකුත් දුන්න හරි රසයි. මං මාළිඟාවෙ නතර වෙලා ඉදලා එද්දි රංවල දෙවියො කිව්වා මේ ගැන කාටවත් කියන්නෙපා කියලා” ඔහොම බරා ඒ අපූරු කතාව කියලා ඉවරවෙලා තුන්වරුවක් වත් ජීවත් වුනේ නෑ ළමයිනේ” අත්තම්ම පැවසීය.

“ඇයි බරාට මොකද වුනේ” මා විමසුවේ උනන්දුවෙනි.

“ කතාව කියලා මොහොතක් වත් යන්න කලින් උණක් හැදිලා තුන් වරුවකින් මිය ගියාලු. ඒ නිසයි රන්වල දෙවියො තමන්ගෙ රහස් කාටවත් කියනවට කැමති නෑ කියන්නෙ. ඕවගෙ සිද්දි ඕන තරම් මේ රංවල දෙයියන්ගෙ පළාතෙ සිද්දවෙලා තියනවා.” කියමින් මා දෙස අවවාදාත්මක බැල්මක් හෙලමින අත්තම්මා කතාව අවසන් කරපු බවක් පෙනිණි.

මා තුලද රන්වල දෙවියන් පිළිබඳ භක්තියක් ඇති විය. සිහිනයද ඊට බලපාන්නට ඇත.

***සියණෑ කෝරලේ කැළණි ගගබඬට අධිගෘහතව එගොඩින් ගම් 32කත් මෙගොඩින් ගම් 32කත් ජනතාවගේ පුද පූජාවන්ට රං වල දෙවියන් පත් වන බවත් සෑම වසරකම දෙසැම්බර් 28,29,30 දිනයන්හි රංවල දෙවියන් වෙනුවෙන් ම ගංගාරෝහණ පූජාව පැවැත් වෙන බවත් ගඟ මැද පිරිත් කියා පෙරහැර පවත්වා දන් පිළිගැන්වීම එහිදී  සිදුවන බවත් මා හට පසුව දැන ගන්නට ලැබුණෙමි. අනිවාර්යයෙන් මෙවර පූජාවට මාද පැමිණෙන බවට මා සමනලීට පොරොන්දු වුණෙමි.

____________________________________


                  - U.දිනුෂිකා සමන්මලී කුමාරි
                       HS/2015/0530
                           කෙටි කතාව 
                     සාම්ප්‍රදායික සන්නිවේදනය 


Tuesday, July 24, 2018

නොකියූ කතාවක්…


හමුවෙන හැමෝම හමුවන්නෙ
හමුවන්න ඕන නිසා ම නෙමෙයි...
කතා කරන හැමෝම කතා කරන්නෙ
කතා කරන්න ඕන නිසා ම නෙමෙයි...
නැතිවෙන හැමදේම නැතිවෙන්නෙ
නැති කරගන්න ඕන නිසා ම නෙමෙයි...
ලග ඉන්න හැමෝ ම ලග ඉන්නෙ
ලග ඉන්න ඕන නිසා ම නෙමෙයි...

ඒ වගේ ම

ජීවත් වෙන හැමෝම ජීවත් වෙන්නෙ
      ජීවත් වෙන්න ඕන නිසා ම නෙමෙයි…..

හමු නොවී බැරි කමට හමුවන,
කතා නොකර බැරි කමට කතා කරන,
හිමි කරගන්න බැරිකමට අහිමිවීමට ඉඩදෙන,
හැර යන්න බැරිකමට ලග ඉන්න,
මැරෙන්න බැරි කමට ජීවත් වන,

චරිත ඇත අප අතරම…..
සියලු දේ සිත් හිම රඳවගෙන♥️

U.දිනුෂිකා සමන්මලී කුමාරි 

Friday, July 13, 2018

උත්සාහයට ඉඩ දෙන්න



ජීවිතය නැමැති මනහර දිය දහරාව
තරණය කරන කල් හි
අතිශය සුන්දරත්වය සේම
නෙක බාධා පැමිණෙයි නිරතුරු..

සැඬ පහර නිරන්තරයෙන්
උත්සාහ දරාවි
ඔබෙ ගමන නැවතීමට….

එපා දුර්වල වන්නට
උත්සාහයට ඉඩ දෙන්න
ගමනාන්තය තෙක්ම රැදෙන්නට
එයම හේතු වේවි
ඔබේ ජයග්‍රහණයට….

U.දිනුෂිකා සමන්මලී කුමාරි 

Thursday, July 12, 2018

❤ මීදූමෙන් ආ මායාවී❤

   

         
මීදූමෙන් තෙත් වූ දිනක් එදවස 
මතක ඇත තවමත් එලෙසටම
කඳු මතින් පිය නගමින් හිමිහිට
නැගී එන හිරැ කිරණ වින්දෙමි..

එක්වරම මතුව ආ රුවකි 
දෙපා පමණක් නොව නැවතුනේ..
හදවතද ගල් ගැසී නැවතිණි
සොඳුරු ඒ රූ පහස දුටු විට....

නීල පැහැ වටකුරු දෙඇස්
රෝස පැහැ සෙලවෙන දෙතොල්
රත් පැහැවූ කොපුල්තල ඇති ඈ
 සේලයක් පෙරව සිටි සුරඟනකි මට නම්

දොඩමළු වන්නට රිසියෙන්  
තැබූයේ මා පය ඉදිරියෙන්
පැමිණියේ ඝන මීදූමක්
වසාගෙන ඒ රුව සැනින්

පීරමින් මා සෙව්වත් විගසින්
නැත දකින්නට නැවත ඈ
 බිම බැලූවිට දුටිමි එවර 
අලුත් සොහොනක ශේෂයන්

මොහොතකට මසිතම  පිරිමැදූ
මා සොයා ආ මගේ කුමරී
මතක ඇත මට මෙලෙසිනී
ඇයයි මීදූමෙන් ආ මගෙ අරුමැත්තී...
U.දිනුෂිකා සමන්මලී  කුමාරි 

Friday, July 6, 2018

... දූවිලි මල්...



නැත ගුලිවී උණුසුම විදිනට මව්  සෙනෙහෙ
නැත පිය සෙනෙහෙ හුරතල් වන්නට ඔහු උකුලේ
කොයිබද ගියේ නොකියම  මා නැති අතරේ
පාලුව පිරුණු දුකක් ඇත සිරවී පපු ගැඹුරේ

නෙක නෙක පාට ගවොමින් සැරසී.. මව්පියෝ හා යති චූටී ලමෝ..
රසබර කෑම ඒඅය අත පිරී ඇතේ
මුඩුක්කු මඩ කඩිත්ත අසලින් ගමන් යතේ...

පෙර දින දුටිමි සිහිනෙන් මව් නලල සිඹින අයුරු
ලගදිම ඒවී මා දකිනට දෙදෙනම මට දැන් සිහිවේ
හැඩ වී යාහැකියි මටද අන් ලමෝ මෙනී
බලා හිදිමි එතකල් දූවිලි මල් ගවොමින් සැරසී..


                 U.dinushika Samanmalie

Sanjanani 2019 trailer