Monday, August 27, 2018

ජීවිතය දෙස සුභවාදීව බලන්න...

ජිවිතයේ සමහර දේවල් සිද්ද වෙන්නෙ වාසනාවට නැත්නම් අවාසනාවට කියලා ඔබට හිතෙනවාද
                     අපේ බලාපොරොත්තු බිදුනම අපි විධි දෙකක් යොදාගන්නවා

එකක් කලකිරීමෙන් අසතුටින් හිත හකුලෝගන වේදනාවෙන් ජීවත් වීම. අනික තමයි අමාරුවෙන් හරි උපේක්ශාවෙන් බලලා හැමදේම වෙන්නෙ හොදට කියලා හිත හදාගන්න එක. 



        
     පලවෙනි එකෙන් වේදනාව අපේ හිත්,ගත පුරාම ඔඩුදුවනවා. අපේ ජීවතේ හුගක් දේවල් සාර්ථක ව කරගන්න බැරි තරමට අපි දුර්වල වෙනවා.
 දෙවනි එකෙන් හිත සංසුන් වෙනවා.



                 දැන් ඉතිං වෙච්ච දේ වුනා. ඒක දිහා අවාසනාවන්ත දෙයක් විදියට බලනවට වඩා ඒ තුලින් යම්කිසි හොදක් මතු කරගන්න පුලුවන් නම් ඒක තමයි වැදගත්.

                 අපේ ජිවිතයේ හුගක් ඇතැම් දේවල් සිදුවන්නේ වාසනාවට කියලා අපිට හිතෙනවා. තවත් දේවල් සිදුවන්නේ අවාසනාවට වගේ කියලා අපිට පේනවා. ඒත් ඔබට හිතන්න පුලුවන් අපිට ජීවිතයේ නරකට සිදුවන දේවල් වෙස් වලාගත් ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. හොදට සිද්ද වුනා කියලා හිතුන දේවල් පසුකාලීනව සාපයක් වෙන්නත් පුළුවන්.
                        මේ මොන දේ වුනත් විපතක් විදියට බලලා අඩන එකෙන් සිද්ද වෙන එක හොදක් ඔබට කියන්න පුළුවන් ද??? අපට සිද්ද වෙන දේ නෙමේ ඇත්තටම විපත. අපි ඒ දේවල් බාරගන්නා විදිය අනුව තමයි ඒක සිද්ද වෙන්නෙ.
                   වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ. විපතක් විදියට නොබලා මොකක්හරි හොදක් ඇති කියලා උපේක්ශාවෙන් බලන්න පුරුදු වෙන්න. එතකොට කදුලින් බොද වුන ඇස් දෙකක් වෙනුවට බුද්ධියෙන් ආලෝකමත් වුනු ඇස් වලින් ජීවිතයේ දිහා බලන්න පුලුවන්.....
              
- දිනුෂිකා සමන්මලී
     

...නූතන ටෙලිනාට්‍යය මගින් තරුණ පරපුරේ ආකල්ප හා චර්යා කෙරෙහි ඇති කරන බලපෑම ...


                        රටක දැයක පිටකොන්ද තරුණ පරපුරයි.තාරුණ්‍යභිමානයෙන් ඔද වැඩුනු සමාජය ප්‍රගතිශීලී සමාජයකි.ජාතික සංවර්ධනයේ පදනම තරුණ පරපුරයි.මෙම අවධියේ දී තරුණ තරුණයින් සාම්ප්‍රදායික දේවල් වලින් මිදී ස්වාධීන ජීවිතයක් ගත කිරීමට උනන්දුවක්  දක්වති.එහිදී රූපවාහිනීය නරඹන ටෙලිනාට්‍ය රුචි කරන තරුණ තරුණයින්ගේ ආකල්ප හා චර්යා පද්ධති කෙරෙහි එය ප්‍රබල බලපෑමක් ඇති කරන බව දැකගත හැකිය .
                                  රූපවාහිනී නාට්‍ය පිළිබඳව ඇතැමුන් කෙතරම් උනන්දු ද කියතොත් කෑම වේල ප්‍රමාදව ගත්තද ටෙලිනාට්‍ය නැරඹීම ප්‍රමාද කිරීමට ඔවුන් මැලි වෙති.තරඟකාරී රූපවාහිනීය තුල වත්මන වන විට රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක් ආරම්භ වීමත් සමග ගැටුමක් නිරායාසයෙන් පවතී.වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීම උදෙසා විවිධ ටෙලිනාට්‍ය ප්‍රචාරය කරයි.බොහෝ නාට්‍ය සිංහලෙන් හඬකැවූ වෙනත් සංස්කෘතීන් වල නිෂ්පාදිත ඒවාය.මේවායේ ගුණාත්මකභාවය ක්‍රමයෙන් පහල ගොස් ඇති අතර තරුණ පරපුරට මේවායින් උකහා ගත හැකි දෙයක් ඇත්දැයි සැක සහිතය.
                                     රූපවාහිනී මාධ්‍ය මෙරට ආරම්භ කරනු ලැබුවේ අරමුණු කීපයක් පෙරදැරිවය.එහි එක් ප්‍රධාන අරමුණක් වූයේ අධ්‍යාපනය නඟා සිටුවීමට දායක වීමයි.නමුත් තරුණ පරපුරේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා හෝ ඔවුන්ගේ පෞරුෂය සංවර්ධනයට රූපවාහිනීය තුලින් ඉටු වන මෙහෙය සැලකිය යුතු මට්ටමක නොමැත.
                                         රූපවාහිනීයේ විකාශනය වන ටෙලිනාට්‍ය වල නලු නිලියන්ගේ චරිත මගින් භාවිතයට ගැනෙන විලාසිතා අදින්නට පළදින්නට තරුණ පරපුර පෙළඹී ඇත.නවතම විලාසිතා වනුයේද ඒවාය.ඔවුන්ගේ කොණ්ඩා මෝස්තර බෙහෙවින් තරුණ පරපුර අතර ප්‍රචලිතය.පෙරදී රස්තියාදු තරුණයින් භාවිතා කල ඇඳුම් පැළඳුම් ,කොණ්ඩා මෝස්තර වුවත් ටෙලිනාට්‍යක ජනප්‍රිය චරිතයක් භාවිතා කරන්නේ නම් ඒව අනුගමනයට තරුණ පරපුර මැලි නොවන අයුරු දැකගත හැකිය.ඇතැම් විට අසංවරශීලී  අඩනිරුවත් විලාසිතා ද මේවායේ යොදාගනු දැකිය හැකිය.මෙයින් සිදුවන්නේ රටේ අනාගතය වන තරුණ පරපුර නොමගට යාමයි.වර්තමාන තරුණ පරපුරේ ජාතික ඇඳුම වන් "ඩෙනිමට" ඔවුන් හුරුපුරුදු වූයේ ටෙලිනාට්‍ය මගින් යැයි පැවසුවහොත් අසත්‍ය නොවනු ඇත.අද සමාජයට මෙය නැතිවම බැරිය.
                                ටෙලිනාට්‍ය වල පිසෙන ආහාරපාන නිවෙස්වලද පිසෙයි.එමෙන්ම වඩාත් අවධානය යොමුවිය යුතු දෙයක් වන්නේ මෙම  ටෙලිනාට්‍යවල යොදාගැනෙන භාෂාවයි.බොහෝ විට මෙය සිංහල -ඉංග්‍රීසි මිශ්‍ර වූවකි.මීට තරුණ පරපුරද යොමුවී ඇත.එවිට සිංහල භාෂාවට යන කල දසාව කුමක්ද යන්න ගැටලුවකි.එමෙන්ම ඇතැම් ටෙලිනාට්‍යවල භාෂාව අසංවරශීලී ලෙස භාවිතයට ගන්නා අයුරු අද දැකගත හැකිය.ටෙලිනාට්‍ය තුලින් තරුණ පරපුර තුල ප්‍රචලිතව ඇති ඇතැම් වචන මෙම කලාකරුවන්ට ආවේ කොයින්දැයි සිතාගත නොහැකිය ."නියමයි,අනර්ඝයි,ලස්සනයි " යන වචන වෙනුවට අද තරුණ තරුණියෝ යොදාගන්නේ "පට්ට" යන වචනයයි. ඉස්සර සිංහලයා "පට්ටපල් හොරා,පට්ට බොරුකාරයා ,පට්ට....." වැනි  යම් පහත් බවක් දැක්වීමට යොදාගත වචනයක් අද ඊට හාත්පසින්ම වෙනස් අර්ථයක් පිණිස යොදාගනී.කල්‍ යත්ම මෙම වචනයේ නිවැරැදි තේරුම පිළිගැනීමට තරුණ පරපුර මැලිවනු ඇත."කෑල්ල ,පහර" ආදී ටෙලිනාට්‍ය ඇසුරෙන් බොහෝ අමුතු වචන සමාජගත වී ඇති අයුරු දැකගත හැකිය.එසේම මේවායේ ආවේශකර හැසිරීම් ,හැඟීම් උත්පාදනය දර්ශන  තරුණ පරපුරේ මොළ කුරුවල් කිරීමට දායක වනු ඇත.

                   අපේ රටේ බහුතරයක් තවම ගම්බදව වෙසෙන අතර නගරබදව සිටින බොහෝමයක් ද ග්‍රාමීය දෙමව්පියන්ගේ දරුවෝය.රූපවාහිනී තිර රචකයන්ගේ වගකීමක් වනුයේ මොවුන් තුල යහ ගුණධර්ම  වැඩිදියුණු කිරීමයි.වාණිජ අරමුණු පමණක් ගැන නොසිතා සංස්කෘතියට පටහැනි,තරුණ පරපුර නොමගට යොමු කරන නාට්‍ය දර්ශනද විකාශය නොකල යුතුය.පැහැදිලිවම කිවහොත් රටේ ජනතාව පාලනය කරන යතුරක් ලෙස ටෙලිනාට්‍ය හැදින්විය හැකිය.තරුණ පරපුරේ ආකල්ප හා චර්යාවන් වැඩිදියුණු කරමින් රට සංවර්ධනයට මේ තුලින් වුශාල මෙහෙයක් කල හැකිව පවතී."අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" ලෙස කුමාරතුංග මුනිදාසයන් පවසා ඇත.නමුත් මෙම වෙනස් වීම කරන ගමනේදී වෙස් මුහුණු බැඳ ගැනීම අනුවණය.ටෙලිනාට්‍ය හරහා තරුණ පරපුර තුල ආකල්පමය හා චර්යාමය දියුණුවක් ඇති කිරීම පිණිස ක්‍රියා කල යුතුය.
     
                         U. දිනුෂිකා සමන්මලී කුමාරි

රොබෝ හදවත්

                        කුඩා දරුවෙකුගේ සිත නොකිලිටි මෙන්ම නිරවුල්ය.නිදහස,නව අත්දැකීම් විදින්නට කැමති ඔවුන් ඒ අත්දැකීම් ඇසුරෙන් ඔවුන් උගත දේ දිනක වැඩිහිටියෙකු වූ විටද ක්‍රියාවට නංවයි.එම නිසා ලමා සිත අවබෝධයෙන් තේරුම් ගැනීම වැදගත් වේ.ළමයා යනු ළමයාය..ඔවුන් වැඩිහිටියන් නොවේ.ඇත්තේ ළමා සිතුම් පැතුම්ය.කෙළිදෙලෙන් සිතැඟි පරිදි ගත කරන්නට ඔවුන් කැමැතිය.ඔවුන් එලෙස ඒවා තුලින් ලබන නවමු අත්දැකීම් හරහා බොහෝ දේ උගනින බව දත යුතුය.ඒ කෙසේද යත් පරිසරය හා ගැටෙන ළමයා එහි අපූර්වත්වය දකී.එයට සමීප වේ.ගහට කොළට සතා සීපාවාට ආදරය කරන්නට ඉගෙන ගනී.ඒවාගේ වටිනාකම වටහා ගනී.සිත් පිරිසුදු වේ.රසවින්දනයට ,හිතන්නට,දෙයක් දෙස අවබෝධයෙන් බලන්නට නිරායාසයෙන් පෙළඹේ.එමෙන්ම ගහට කොළට ,සතා සීපාවාට ආදරය දක්වන ,මිතුරන් නිවැසියන් ,අසල්වැසියන් සමග සහයෝගයෙන් දිවි ගෙවන ළමයාගේ මනස තුල කරුණාව ,අනුකම්පාව ,දයාව ආදී මාහැඟි සිතුවිලි ක්‍රමයෙන් ගොඩ නැගේ.එය පොත පතින් ලබාදෙන්නට කෙතරම් වෑයම් කලද එය නිශ්ඵල වේ.                     
             අද අප රට තුල පවතින අධ්‍යාපනය ඉතාමත් තරඟකාරීය.තරඟකාරී බව අත්‍යාවශ්‍ය වුවද මෙවැනි තරඟකාරී බවක් තුලින් සංවර්ධනයක් කෙසේ වෙතත් අනාගත  මිනිසාගේ අධ්‍යාත්මික සංවර්ධනයහි නම් දැවැන්ත පරිහානියක මූලාරම්භයක් නම් වන බව මොනවට කැපී පෙනේ.උදේ රැයින් නැගිට මොනවා හෝ දෙයක් කඩිමුඩියේ ගිල දමා පාසල් වෑන් රියට තල්ලු වීමෙන් අනතුරුව මහා සංග්‍රාමයකට අනුයුක්ත කලා හා සමානය.පලමුවන වසරට ඇතුලත් කල දා සිටම වාගේ දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ හිස තුල රජයන පලමුව විජයග්‍රහණය 5 ශිෂ්‍යත්වයයි. එතැන් සිට ආරම්භ වන කඩඉම් විභාග පෙල වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට අද සියල්ලෝම පාහේ සැරසී සිටී.අද බොහෝ මව්පියන්ට අසල්වැසියාගේ දරුවාට වඩා හා තමාගෙන් ප්‍රතිඵල අසන්නන්ට උජාරුවෙන් කිව හැකි ලෙස විභාගයෙන් සමත්ව සිටිනු දැකීම රටක් රාජ්‍යයක් ලැබුනාක් හා සමාන දෙයකි.එසේම ඇතැම් ගුරුවරුන්ගේ සිද්ධාන්ත වලට අනුව විභාග වලින් අසමත් වීම දරැවා සිය අනාගතයම අදුරු කර ගැනීමකි.මෙවැනි සංකල්පයන් ළමා සිත් පසාරු කර ගෙන නිදන්ගත වීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවාද මව්පියන් හා ගුරුවරුන්ගේ තරඟකාරීත්වයට යොමුවේ.
              මේ වන විට මුලු මහත් රටම හා අධ්‍යාපන ක්ෂේත්‍රයම දරුවන්ගේ හිස් ශිෂ්‍යත්වය , A සාමාර්ථ යන සංකල්පයන් තුලින් පමණක්  පුරවා අවසන්‍ ය.දෙමව්පියන් අමතර පන්ති දහසකට පමණ ඇතුලත් කොට ඔවුන්ගේ නිදහස සීමා කොට ඇත.එදා දරැවා ගහකොලෙන් විදි අතිශය සුන්දර නිදහස අද දරුවාට ලැබෙන්නේ නැත.පරිසරයේ සුන්දරත්වය විදින්නට ඔවුන් දන්නේ නැත.ගුණධර්ම ,මව පියා,අසල්වැසියන් ,පරිසරය අමතක වී කෲර සමාජයක් බිහි වෙමින් පවතී.අනෙකාගේ දුක නොහදුනන අනුකම්පාව තොරවූ අනාගත රොබෝවරු පිරිසක් අපට මෙමගින් දායාද වේ.ලැබෙන දත්ත වලට අනුව ක්‍රියාත්මක වීමට සැකසී ඇති  රොබෝවරු  සිතන්නට ,අනෙකාගේ දුක හදුනන්නට දන්නේ නැත.මන්ද යත් ඔවුන්  සංවේදී වීමට සකසා නැත.අද දරුවාටද ඔවුන්ගේ ළමා කාලය,නිදහස විදින පරිසරය විදින ,ගුණධර්ම පුහුණු කරන කාලය ඔවුන්ගෙන් උදුරා ගෙන පසුව ඔවුන් තුලින් සිරිමත් ලා අපේක්ෂා කල නොහැක.පොත පතින් ජීවත් වීමට අවශ්‍ය සියල්ලම නොලැබේ.සමාජගත වූ පසු අධ්‍යාපනය මෙන්ම  ගුණධර්ම ද පිරුණු මිනිසුන්ය අවැසි වනුයේ දහම් පාසලකට යන දරුවන් අද ඉතා සීමිතය ...දහම් අධ්‍යාපනය ,සාරධර්ම රටක පැවැත්මට ඉතාමත් අවශ්‍යය.ගුණධර්ම පිරිහුන රොබෝ හදවත් ඇති දොස්තරලා,නීතිඥවරුන් ,ඉංජිනේරුවන් ,ගුරුවරුන් ලක්ෂ ගණන් පහල වුවද රටකට පලක් නැත.එහෙයින් අප අනාගතයට අපම වල කපගෙන පසුව දොස් කීවාට කිසිදු පලක් නැති බව අවබෝධ කොට ගැනීම මුලු මහත් රටටම වටී..

                                             U.dinushika samanmalie 

Friday, August 10, 2018

.....ජීවිතය ජයගන්නට මත්තෙන් ....😊👊



අපට ලැබෙන මිනිත්තුවකට ඇත්තේ තත්පර හැටයි.එම තත්පර හැට පවා ප්‍රයෝජනවත්ව කාර්යක්ෂම අයුරින් ක්‍රියාවට නැංවුවහොත් ජීවිතයහි ඇති අභියෝග බොහෝ ජයගත හැකිය.එය අරුමයක් නොවේ අප ජීවිතයේ අපට සැබෑ කරගන්නට සිහින ඇත.එහෙත් ඇතැම් අයගෙන් ඇසෙන කතාවකි කුමක් කලත් කිසිදු සාර්ථකත්වයක් නැතැයි කියන කරුණ.අප සිහියට ගත යුතු වටිනා කරුණක් ඇත.එනම් අප සිහින ,අභියෝග ජයගන්නට නම් අප අහස් මාලිගා තනමින් කාලය ගත කලාට කිසිදු පලක් නැත.අප අපේ අරමුණු වෙනුවෙන් උත්සාහ වී ඇප කැප විය යුතුය .කිසිවෙක් නොකොට සාර්ථකත්වයක් නැතැයි කීම පදනම් විරහිත කතාවක් ය.'මහන්සියේ හැටියටයි හාන්සිය' යන ප්‍රසිද්ධ වැකියෙන් එය මොනවට කැපී පෙනේ.අපට සිහින ,අභියෝග ජයගන්නට අවැසි නම් ඒ සඳහා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන සෑම විටම මහන්සි වී එම අරමුණ හෝ අරමුණු වෙනුවෙන් ඒ පසුපස ගමන් කොට උත්සාහ කල යුතුය.මෙම සංකල්පය කාට වුවද පොදු වේ.කවරෙක් වුවද තම අභිවෘද්ධිය උදෙසා වෙහෙස වී මහන්සි වී කැපකිරීම් කරමින් කටයුතු කරන්නේනම් එම පුද්ගලයාගේ සිහින සැබෑ වීම නියතය.නැතිබැරිකම් ඇති පුද්ගලයකු වුවද ඒවා ගැනම සිතමින් කම්පාවට පත්වෙමින් කිසිදු උත්සාහයක් නොදරමින් ජීවිතය ඔහේ ගෙවමින් තමාට කිසිදු සාර්ථකත්වයක් නැතැයි පැවසුවහොත් එය හරයක් නොමැති සිතුවිල්ලකි."උත්සාහවන්තයා ජය ගනී."තමාගෙ අරමුණ කුමක් වුවත් ඒ සඳහා නොපසුබට උත්සාහය අවශ්‍යයමය.උත්සාහ කිරීම හරහා ජීවිතයේ බොහෝ දේ වෙනස් කල හැකිය.බැරි යැයි කියා කිසිවක් නොමැත.අවශ්‍යය වන්නේ ඒ සඳහා ධෛර්ර්ය හා නොපසුබට උත්සාහයයි.එමෙන්ම ආත්ම ශක්තිය හා කාර්යක්ෂම බවද මෙයට මහෝපකාරී වේ.තමා ගැන අසුභවාදී ආකාරයෙන් නොසිතා සුභවාදීව කටයුතු කරමින් බලාපොරොත්තු ජය ගත යුතුය .

                     ලෝකය ජයගත් මිනිසුන් කිසිවෙකු එම ජයග්‍රහණයන් ලබා ගනු ලැබුවේ රෝස මල් යහනාවන් මතින් ගොස්  නොව කටුක මාවත් අතරින්‍ ය යන්න අප අවධාරණය කර ගත යුතු වැදගත්ම කරුණකි.අභියෝග ජයගන්නට යන ගමනේ  ඔවුන් පැරදීම් වලට මුහුණ පෑ අවස්ථා බොහෝයි.එහෙත් එම විශිෂ්ඨයන් කිසිවෙක් එම පැරදීම් අමිහිරි අත්දැකීම් තුලින් අධෛර්යමත් වූයේ නැත.ඒ සියලු පැරදීම් ,ගැහැට තම ජීවිතයට යෝධ ශක්තියක් කර ගනිමින් ශ්‍රේෂ්ඨ චරිත බවට පත්වෙමින් ලෝකය ජය ගත්හ.

                     අලි බබා යනු ලෝක ප්‍රකට අප සැවොම දන්නා සමාගමකි.මෙම ලෝක ප්‍රකට සමාගමේ නිර්මාතෘ වන්නේ " මා යුන්" හෙවත් ජැක් මා ය.ජැක් මා ජීවිතය ආරම්භ කලේ සංචාරක මගපෙන්වන්නෙක් ලෙස යැයි සඳහන් වේ.චීනයේ හැන්ෂු පළාතේ සීජීඇන් ගම්මානයේ උපත ලද ද්‍රරිද්‍රතාවයෙන් පෙලුන පවුලක හිමිකරුවකු වූ ඔහු සංචාරක මගපෙන්වන්නෙක් ලෙස කිලෝමීටර හැත්තෑවක පමණ දුරක් දිනපතා ගමන් කල බව ඔහු ගැන සඳහන් කල විස්තරයක ඇතුලත් ව තිබිණි .එලෙසින් ජිවිතය පටන්ගෙන ඉදිරියට ගිය ජැක් මා ගේ ගමන නතර වූයේ ලෝකයේ ධනවත්ම ව්‍යවසායක චරිතයක් බවට මේ වන විට පත් වෙමිනි.දිනපතා පා පැදියෙන් ගමන් කිරීම දුෂ්කර කටයුත්තක් යැයි සිතා එම කටයුත්ත අත් හැරදැමුවේනම් අද වන විට අලි බබා සමාගමක්වත් අභියෝග ජයගත් සාර්ථකත ජැක් මා කෙනෙකුද බිහි නොවනු ඇත.ඒ එක් චරිතයක් පමණි.ලොව ජයගත් අනෙක් බොහෝ චරිත වල ඇත්තේද ඉතා කටුක වේදනාකාරී අත්දැකීම් ය.ලොව ප්‍රකට KFC සමාගමේ නිර්මාතෘවරයා ගේද ඇත්තේ ඉතා අමිහිරි අත්දැකීම් ගොන්නක්ය.කිහිප වතාවක්ම සොච්චම් වැටුප් ලබමින් රැකියාවලින් නෙරපා දැමීම් වලට මුහුණ පාමින් සිට ඇතිමුත් මේ වන විට ඔහු තම ගමන අවසන් කොට ඇත්තේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් දිනා ගෙනය.සුලුවෙන් ආරම්භ කොට ඉතා විශාල ජයග්‍රහණයන්  ,සාර්ථකත්වයක් ලබා ගෙන ඇති ආකාරය එම චරිත තුල කැපී පෙනේ.

අප සිහියට ගත යුතු කරුණු වන්නේ එම චරිත තුල ඇති ආදර්ශමත් ගුණාංගය.අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම කටයුතු කිරීම ,කාර්යක්ෂම බව හා ආත්ම විශ්වාසය යනාදියයි.මෙම ගුණාංගයන් ජීවිතයට පන්නරයක් කර ගනිමින් අපට ඇති සිහිනය කුමක් වුවත් එම සිහින ,අරමුණු වෙනුවෙන් කැපකිරීම් කරමින් ,සැලසුම් සහගතව වැඩ කටයුතු කරමින් ඉදිරියටම ගියහොත් සාර්ථකත්වයට පත්වී නැගීමට නියත වශයෙන්ම හැකි වේ.අප ජීවිතයට අභියෝග පැමිණේ.බොහෝ කටුක අත්දැකීම් වලටද මුහුණ දෙන්නට සිදුවේ.එහෙත් වැදගත්ම දේ වන්නේ කලබල නොවීමයි.ඒවාට විසදුම් සෙවිය යුතුය.ලෝකයේ විසඳුම් නොමැති ගැටලු නොමැත.එන අභියෝග වලට ශක්තිමත් වී නුවණින් සිතා බලා පිළිතුරු සොයා ජීවිතයේ දැවැන්ත ජයග්‍රහණයන් අපට ලබා ගත හැක.

                     අප ලාංකීය ව්‍යවසායක ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වූ සිවිලම ව්‍යාපාරය හි දක්වා ඇති තේමා පාඨයක් සිහියට නැගේ.එනම් "සමනලයෙකු වගේ පෙනී සිටින්න.නමුත් මී මැස්සෙකු වගේ වැඩ කරන්න" .....
හෙට දවසේ ලෝකය ජයගැනීම යථාර්ථයකි.ඒ සඳහා තමා සතු උපරිම ශක්තීන් ,ධෛර්ර්ය,කාර්යක්ෂමබව යොදමින් ඕනෑම අභියෝගයක්, සිහිනයක් ජය ගත හැකි බව සිත් හි රදවා ගෙන කටයුතු කලහොත් ජීවිතය ජයගැනූම කිසිදු අයුරකින් අපහසු කටයුත්තක් නොවේ .

Thursday, August 9, 2018

හිස් බව තුල ඇත සැනසීම ♥️♥️



හිමි වීමට කිසිවක්ද
අහිමි වීමට කිසිවක්ද
ජීවිතය තුල නුවූ කල
ඒ තුල මහා හිස් බවක්
නිරන්තරව රැදෙනු නිසැකය….
නමුත්
ඒ හිස් බව තුලම
දුක් වීමට කිසිත්ද
සතුටු වීමට කිසිත්ද
නොවන කල්හි
සැනසීම ද නිතර රැදෙනු ඇත…


U.දිනුෂිකා සමන්මලී කුමාරි

Sanjanani 2019 trailer